රිෂාඩ් වෛද්‍යවරයාට තර්ජනය කරද්දි අසල සිටි රැඳවියා අධිකරණයට


(නිමන්ති රණසිංහ)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර රෝහලේ දී වෛද්‍යවරයකුට බැණ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධිය සිදුවන අවස්ථාවේදී එම වෛද්‍යවරයා සමඟ සිටි රැඳවියා ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයූසරිය මහත්මිය බන්ධනාගාර අධිකාරිවරයාට අද (23) නියෝග කළාය.

ඒ අනුව, එම රැදවියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම සිද්ධියට අදාළව අධිකරණය තුළදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ද මහේස්ත්‍රාත්වරයා බොරැල්ල පොලීසියට අවසර ලබා දුන්නේය.

එම රැදවියාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව ඇති අතර එය ස්වාධීනව ලබා ගැනීම සදහා රැදවියා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර රිෂාඩ් බදියුදීන් යන අය එම රෝහලේ වෛද්‍යවරයකුට බැණවැදී තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අද (23) බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

මෙම සිද්ධියට සිදුවන අවස්ථාවේදී අදාළ වෛද්‍යවරයාගේ උදව්වට රැදවියකු මෙන්ම බන්ධනාගාර නිලධාරියකු ද සිට ඇති බවත් ඔවුන් දෙදෙනා මෙම සිදුවීම දැක ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම සිද්ධිය ඇසින් දුටු දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇති අතර, මුලින්ම රැදවියාගෙන් ස්වාධීන ප්‍රකාශයක් ලබා ගත යුතුව ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉකුත් 15 වැනිදා තමන්ට බැණ වැදී මරණීය තර්ජනය කළැයි නවනගරය කතරගම පදිංචි නව මැගසින් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය ප්‍රියංග ඉදුනිල් පුපුලේවෙල මහතා විසින් කරනු ලැබූ පැමිණීල්ලකට අදාළව පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව ද කොළඹ අපරාධ කොට්ඨාසය සිය බී වාර්තාව මගින් අධිකරණයට දැනුම් දුන්නේය.

“තමුසේ දන්නේ නැද්ද මම මෙතනට ආවේ මෙනවා කරලද කියලා. ඒ වගේම තමයි මට තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්, පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැගළුවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගෙ කාර් එකයි අළු වෙලා තියෙයි ඒක හොඳට දැන ගන්නවා. එතකොට තමුසෙගෙ ගෑණිට මිනිහෙක්, ළමයින්ට තාත්තා කෙනෙක් තමයි නැතිවෙන්නේ. තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදුර්දීන්”. යැයි සදහන් කරමින් සැකකාර රිෂාඩ් බදියුදීන් යන අය බැණ තර්ජනය කළ බවට වෛද්‍යවරයා සිය පැමිණීල්ලෙන් දක්වා ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සදහන්ව ඇත. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අදාළ රැදවියා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරමින් සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන වහාම සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.